Wednesday, January 08, 2025

සිනාවෙන් පිරුණු - Sinaven Pirunu


සිනාවෙන් පිරුණු දිය කඩිත්තක් කලතවා
කෝපයෙන් වැසුණු මඩ විලක් කර දමන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ
ප්‍රේමයෙන් පිරී ගිය හදවතක් කළඹවා
ශෝකයෙන් පිරුණු රළු ලෝකයක් මවන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ

තොලට තොල තියාලා, ආදරෙන් බැඳීලා
සෑමදා ඉන්න මා කළ පැතුම් සුන්වෙලා
බිඳුණු ප්‍රේමයෙ නමින් දැන් ඉතින් තියෙන්නේ
හඬා නොවැටී ඉන්න අදිටනක් පමණී

පරාජය උරුම වී, පිළිසරණ අහිමි වී
වියෝ ගිනි ජාලයෙන් හදවත ද දැවීලා
අතීතයෙ නාමයෙන් දැන් ඉතින් පතන්නේ
සදාකල් තනිවෙලා දිවි ගෙවුම පමණී

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by NoName_13 from Pixabay

ඇසක කඳුළක - Esaka Kandulaka (Reserved for U.M.)


ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

නිසල සිත් විල - Nisala Sith Vila


නිසල සිත් විල මගෙ සසල කළ
කියන් ඔබ කවුරු දෝ
පිපුණු නෙළුමක සුවඳ විහිදන
කියන් ඔබ කවුරු දෝ

මගේ සිත වෙත ඇවිත් රහසේ
මුකුළු කරමින්නේ
සඳක් විලසින් සිනාසෙන්නේ
නුහුරු නුපුරුදු හැඟුම් ගොන්නක්,
නේක සිතුවිලි, සිතේ පුරවන්නේ

ඔබේ රුව දැක නොදැක්කා සේ
ඉන්න මට නොහැකේ
ඇයි ද මා හද කෝල වෙන්නේ
ඔබ සමග වදනක් දොඩන්නට
කෝඩු මගෙ සිත, නැතේ ඉඩ දෙන්නේ

රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by andrew kim from Pixabay

නිසල විල මත පිපිලා - Nisala Vila Matha Pipila


නිසල විල මත පිපිලා, සුවඳ පතුරන දසතේ
සුදු නෙළුම ඔබ වේ සොඳුරේ පැතූ සංසාරේ
දෙනෙත පින් කර ඇත්තේ, මා
දෙනෙත පින් කර ඇත්තේ

මඩෙන් ඉපදී, දියෙන් මතු වී
සුමුදු පෙති විහිදා ලා
ඉන්ද්‍රඛීලය සේ නැගී
සිනා විහිදන්නේ
ඔබ ලොව ම පුබුදන්නේ

සෙමෙන් මසිතේ, හැඟුම් ඉපිදේ
මහද දොර වසලා, මා
රැක්ක සීලය යයි බිඳී
අනේ සුදු නෙළුමේ
මගෙ සෙනේ පිළිගන්නේ

© රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Charlie Yoon from Pixabay

Friday, January 01, 2021

මතකද ඉස්සර දිනවල - Mathakada issara dinawala (Reserved for DS)

(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)

මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා

එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්

ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්

රසික සූරියආරච්චි, 2020


(image: PeraBeats Life)

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...