Sunday, April 24, 2005

පෙරුම් පුරමින් හමුවුණේ
Perum puramin

පෙරුම් පුරමින් හමුවුණේ
එදා විඳි දුක් යළි විඳින්නද
සුසුම් හෙළමින් වෙන්වුණේ
සදා ඒ ගැන පසු තැවෙන්නද

අතින් අත පැටලුණු නිමේෂය
සිහිනයක් සේ ගෙවීලා
සිතෙන් සිත සිරවුණු වදන් වැල්
දෙතොල් මත්තේ මිදීලා

භවෙන් භවයේ පුරුදු විලසට
අදත් ඇත දුක උදා වී
මෙවන් මොහොතක් යළි නොඑන්නට
කරමු අදිටන් ප්‍රියාවී

-රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com




Image by Gerd Altmann from Pixabay

මලක් සේ සුමුදු - Malak Se Sumudu
Hemal Jayawickrama ("සදා ඔබෙයි මා" ගී එකතුවෙනි)

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මේ ලෙසින් දුකෙන් තැවෙනට
සිතුවෙ නෑ සිතුවෙ නෑ
ඔබ මෙසේ වෙනස් වේ යැයි
සිතුවෙ නෑ, සිතුවෙ නෑ

පෙර එදා සතුටු සුව යළි
එන්නෙ නෑ එන්නෙ නෑ
අප සදා යළිත් හමුවෙද
දන්නෙ නෑ, දන්නෙ නෑ

පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය : විශාරද ඉන්දු ප්‍රේමතිලක
තනු නිර්මාණය සහ ගායනය: හේමාල් ජයවීක්‍රම
("සදා ඔබෙයි මා" ගී එකතුවෙනි)

අසන්න, නරඹන්න



Malak Se Sumudu -

Image by Rudy and Peter Skitterians from Pixabay

Saturday, April 23, 2005

තෙත සිඳුණු නුඹ හදේ
Thetha sindunu numba hade

තෙත සිඳුණු නුඹ හදේ මට ඉඩක් නොදුන්නැයි
නැත මගේ තුන් හිතක නොහොඳ බිඳුවක් ළඳේ
කතර දිවි ගත කරන අතුරු සැණ ගෙවී ගොස්
මතකයෙන් සිහින සුව ගිලිහේවි හෙට උදේ

සිත සලිත වූ එදින මතක පොත ගිනි තබා
ගත පෙළන හිරු ලෙසින ඇයිද නුඹ හිනැහුණේ
ගිනි සිසිල අකැප කල මගෙ අඳුර මට හොඳයි
හද කොනෙන් පිට වෙයන් ඇනෙන කටු විෂ ගෙනේ

දිවි සයුර කෙළවරේ හිරු බසින මතු දිනේ
පව් නොකළ මගෙ සිතට වරද නැත කිසි කළේ
හැරමිටිය අතට ගත් දිනක යළි මුණ ගැසී
සසර මතු හමු නොවන ලෙස ගිවිස ගමු ළඳේ

-රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com



Image by S. Hermann & F. Richter from Pixabay

ගඟක් නම් ඔබ
Gangak Nam (Reserved for U.M.)

ගඟක් නම් ඔබ ගලන හිමිහිට
වනාන්තරයක හුදකලා
ගසක් වෙන්නම් ගං ඉවුරේ මා
ලොවේ දෙනෙතින් සැඟවිලා
දිනක් එනතුරු මගෙත් ඔබගෙත්
සියලු බාධක නැතිවෙලා
අසම්මතයේ පෙම්වතුන් ලෙස
ඉඳිමු මේ ලෙස සිරවෙලා

නිසංසල ලෙස ගලා යන ඔබෙ
සොඳුරු අසිරිය විඳගමී
පවන් සලමින් සෙවණ සදමින්
ඔබේ සිසිලස රැකගමී
සිහින් ස්වරයෙන් ගැයෙන ඔබෙ මුදු
ගීත නාදෙන් මත්වෙමී
සවන් සනහා නුවන් සතපා
විඩා බර ගත සනසමී

සුසුම් රැළි කඳුලැලි තුරන් වී
මුවේ හසරැලි නැගේවා
පැතුම් හදවත මෝදු වී ආ
ඒ ලෙසම ඉටු කෙරේවා
බවුන් වැඩූ සිත දැහැන් බිඳ යළි
ප්‍රේම මන්දිර තැනේවා
යුගයෙන් යුගයට දැනෙන්නට දුක්
යළිත් ඉඩ ඇති නොවේවා

රසික සූරියආරච්චි


Gangak Nam

Image by 용한 배 from Pixabay

දිනෙක මතු දා - Dineka Mathuda
Hemal Jayawickrama and Sashika Nisansala ("සදා ඔබෙයි මා" ගී එකතුව)

දිනෙක මතු දා ලොවට හඬ ගා කියන්නම්
ඔබට මා ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් ඉමු අපි සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
මගේ කුමරියනේ

දිනෙක මතු දා ලොවට හඬ ගා කියන්නම්
ඔබට මා ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් ඉමු අපි සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
මගේ කුමරැවනේ

ඔබ ඔබේ ලොව, මා මගේ ලොව සිරවුණා
ඔබ ඔබේ ලොව, මා මගේ ලොව සිරවුණා
ආදරේ අප කියාගන්නට බැරිවුණා
මේ පවින් ගැලවී, මිදෙන දින ළංවී
හෙට පහන් තරු දිලිසෙනා
මගේ කුමරැවනේ

සීත සිසිරය මැද වසන්තය එළැඹිලා
සීත සිසිරය මැද වසන්තය එළැඹිලා
දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා
ඔබ මගේ වේ නම්, මා ඔබේ වේ නම්
අද දුරින් ඉමු සැනසිලා
මගේ කුමරියනේ

දිනෙක මතු දා ලොවට හඬ ගා කියන්නම්
ඔබට මා ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් ඉමු අපි සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
අපේ ආදරයේ

පද රචනය: රසික සූරියආරච්චි
තනු නිර්මාණය: හේමාල් ජයවික්‍රම
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය: හේමාල් ජයවික්‍රම සහ සශිකා නිසංසලා
("සදා ඔබෙයි මා" ගී එකතුව)

අසන්න, නරඹන්න!




Image by Arek Socha from Pixabay

ලොවට හොරෙන් - Lovata Horen

ලොවට හොරෙන් මා එන්නම් දිනයක
ඔබේ යහන් ගැබ සුවද විදින්නට
ලොවට හොරෙන් සිප ගන්නම් සඳවත
පෙර දින සිසිලස යළිත් ලබන්නට

අත් ඇඟිලි තුඩකින් මුදා දමන්නම්
ඔබෙ මුදු ගත වැසු දුහුලැල් සළුපට
නිමේෂයක් මා නෙත සනසන්නම්
පෙර නොම දුටු රුව අසිරිය අබියස

සිසිල මකන්නම් සීත සිසිරයේ
ඔබ මුදු පහසේ උණුසුම කැටිකොට
මා සැනසෙන්නම් සිහින විජිතයේ
ඔබ ගත මා ගත එක් වූ තැන සිට

රසික සූරියආරච්චි



Lovata Horen:: Reserved by I.P.
Image by Gordon Johnson from Pixabay

මගේ සුසුමක - Mage Susumaka
Dhammika Dewasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැලි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුළින් මා හඬන්නම්

යොදුන් ගණනක් ගතින් වෙන්වී
සිතින් සැමදා ළඟින් ඉන්නම්
ඔබේ ගී පදයකට මා හද
සැලෙන රිද්මය මුසු කරන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩ දෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැන් කර
අනාගතයක් මවමු අප හෙට

පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
("ඉස්සර දවසක" ගී එකතුව)

නැගී දිලේවා - Negee dileva
Hemal Jayawickrama ("සදා ඔබෙයි මා" ගී එකතුවෙනි)

නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී දිලේ තරු මන්දාකිනියේ
නිමා නොවේවා සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පෙම්බර ළඳුනේ

වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
පෙරාල ගී රස සවනේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පදවැල් විලසේ
සදා ඔබෙයි මා පෙම්බර ළඳුනේ
සදා ඔබෙයි මා පෙම්බර ළඳුනේ

යොදුන් ගණන් දුර දෙරණේ
සිටීදො තනිකම කෙසේ දරා
සැබෑ ලොවේ සිට තනි වී
සිහින විමානේ පියඹා
එමි ඔබ මාගේ නොවැ ළඳුනේ
සදා ඔබෙයි මා පෙම්බර ළඳුනේ
සදා ඔබෙයි මා පෙම්බර ළඳුනේ

පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
තනු නිර්මාණය සහ ගායනය: හේමාල් ජයවීක්‍රම
("සදා ඔබෙයි මා" ගී එකතුවෙනි)


Image by himanshu gunarathna from Pixabay

පහන් සිළ ඔබ ළඳේ
Pahan sila oba lande

දුරාතීතේ සිහින සමයක
විදා හරිමින් සඳක සිසිලස
හදේ කෙළවර සෙමෙන් දැල්වුණු පහන් සිළ ඔබ ළඳේ
අඳුරු මා ලොව එළිය කරවූ පහන් සිළ ඔබ ළඳේ

මියුරු ගී පදයක තාලයට
සෙමෙන් නැලවී මුදා සනහස
මගේ දෙනයන වශී කර වූ පහන් සිළ ඔබ ළඳේ
නිමේෂයකට හෝ ලොවේ ඇති
සොඳුරු බව මා නෙතට පෙන්වූ පහන් සිළ ඔබ ළඳේ
සදාකල්හිම ඔබ මගේ යැයි
පැතුම් ගොන්නක් ජනිත කර වූ පහන් සිළ ඔබ ළඳේ

මගේ කළ පින් මදි වුණා දෝ
යළිත් අඳුරේ දිවිය ගිල්වා
මා සදා කල් තනි කළා වූ පහන් සිළ ඔබ ළඳේ
සැපේ අවසන දුක නියත බව
ලෝ දහම් අට මට කියා දුන් පහන් සිළ ඔබ ළඳේ

රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com



Image by Andreas Lischka from Pixabay

Friday, April 22, 2005

සිත වරෙක සසල වෙයි
Sitha verek sasala veyi

සිත වරෙක සසල වෙයි
යළි නිවී නිසල වෙයි
ඔබ ඈත දුර ඉඳන්
මගේ හිතම හිමි කරන්

හද පිරෙයි සෝ සුසුම්
යළි සිනහ මල් කැළුම්
ඔබ ඈත දුර ඉදන්
මගේ හදම හිමි කරන්

එකිනෙක හුයකට ඇමිණී
පෙම් ගී මුවගට එන්නේ
ඒ හැම ගී පදයම දැවටී
පෙර නොතිබුණු අරුත් දැනෙන්නේ

මියැදුණු අතීත සිහිනේ
සිහිවටන නෑ මැකෙන්නේ
කෙදිනද කිව මැන ළඳුනේ
අප සිතුම් සඵල වෙන්නේ

රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com




Image by Dimitris Vetsikas from Pixabay

Thursday, April 21, 2005

නොසිතු මොහොතක
Nosithu mohothaka (Reserved for R.G.)

නොසිතු මොහොතක පාවෙලා විත් මගේ හදවත කිති කවා
සිතේ කෙළවර සැඟවිලා තිබු නුහුරු රහසක් කළඹවා
කොහේ ගියදෝ සැඟවිලා සුළං කිරිල්ලී
යළිත් එනු මැන පියඹලා සුළං කිරිල්ලී

දුරාතීතේ සිහින සැමරුම් තිමිර පටලය බිඳ දමා
සදාකාලික ස්නේහයක් ගැන යළිත් සවනට කොඳුරලා
කොහේ ගියදෝ සැඟවිලා සුළං කිරිල්ලී
යළිත් ඉනුමැන පියඹලා සුළං කිරිල්ලී

හදෙහි හිරවුණු බොළඳ සිතුවිලි මඩින දිරිමග පෙන්වලා
දිවිය පිළිබඳ රළු යථාර්ථය ඉදිරිපිට නෙත් පුබුදලා
කොහේ ගියදෝ සැඟවිලා සුළං කිරිල්ලී
යළිත් එනු මන පියඹලා සුළං කිරිල්ලී

රසික සූරියආරච්චි


Sulan Kirillee is reserved for R.G. Image by ImaArtist from Pixabay

තරුවෙන් තරුවට
Tharuwen Tharuwata (Reserved for C.F.)

තරුවෙන් තරුවට පාර අසාගෙන
ඉගිලෙන්නම් සොඳුරේ
දිවියෙන් දිවියට පැතුමන් කැටිකර
ගෙන එන්නම් සොඳුරේ
ඔබේ ලෝකයට මා එන්නම් සොඳුරේ

පෙර අත් භවයක පෙරුමන් පිරුව ද
අද අප දුරස්වෙලා
යොදුන් දහස් දුර දෙලොවක තනි වී
දුක්වෙමු සුසුම් හෙළා
මේ දුක් සංකා නිමා කරන දින හෙට එයි උදා වෙලා

සඳවට තරු පිරි අහස් වියන යට
ඔබ හා තුරුළු වෙලා
මගෙත් ඔබෙත් නව ජීවන ගීයට
හෙමිහිට මුල පුරලා
භවයෙන් භවයට පැතූ පැතුම් සැම හෙට එයි සැබෑවෙලා

රසික සූරියආරච්චි


Tharuwen Tharuwata is reserved for C.F.
Image by Kelsey Vere from Pixabay

වරම් නැත මට - Varam netha mata
Jayanath Saman Jinadasa and Dhamika Dewasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුලැල් පිස දමන්නට

එදා දෙඩමළු පෙමක නටඹුන්
නොපැතු විලසින් ගොළුවෙලා
සදාකාලික සෙනෙහසක් ගැන
නැගුණු සිහිනය බොඳ වෙලා
ඔබ ඔබේ ලොව මා මගේ ලොව ඇයි
අසම්මතයක සිරවෙලා?

හිරු සැඟව ගිය සඳු සැඟව ගිය
පාළු දුක්බර මේ රැයේ
සතුරු ලොව මැද සසල හදවත
පිපුණු පෙම අද පරවී නොයේ
තරු සෙවණ යට මෙලෙස කුමකට
සුසුම් හෙලමුද අප ප්‍රියේ?

පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය: සංජීව පරණමාන
ගායනය: ජයනාත් සමන් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර
("ඉස්සර දවසක" ගී එකතුව)

අසන්න, නරඹන්න!


තෙමහල් මැදුරේ
Themahal medure

තෙමහල් මැදුරේ ඈත කොනේ
ඔබේ සුවඳ රැඳි විමානයේ
කවුළු දොරින් මද පවනක් සේ විත්
ගතට තුරුළු වෙන්නම්

හන්තානේ ගිරි කුස මුදුනේ
සීතල මීදුම් අරුණැල්ලේ
සැඟවුණු රහසක් සිතු විලසේ
සවනට මුමුණන්නම්

මහවැලි නදියේ පෙණ අතරේ
රොබරෝසියා මුදු මල් තුඩගේ
සුමුදු පහස ගෙන කෙහෙරැළි ඔබගේ
ගෙලවට විහිදන්නම්

මන්මද ස්වරයෙන් විහිදෙන ඒ
සුන්දර දී මාලා ඔබගේ
ගිලන් ලොවට දිව ඔසුවක් සේ
දස අත පතුරන්නම්

රසික සූරියආරච්චි



හේමාල් ජයවික්‍රම විසින් මේ පදමාලාව හින්දි ගී තනුවකට අනුව ගායාන කරන ආකාරය පහත සබැඳිය හරහා ෆේස්බුක් ඔස්සේ ඇසිය හැක.
https://www.facebook.com/100000465046874/videos/2312325282126284/
ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com




(Photo by: Amirthavarshini Maha, From Google Maps)

Friday, April 15, 2005

නොසිතූ විලසින්
Nosithu vilasin

තාරුකාවියේ

නොසිතූ විලසින් පායා අවුදින්
ගනඳුරු අහසේ ඈත කොනේ
නිදිබර මා සිත පුබුදාලා
නුපුරුදු රහසක් කොඳුරාලා
ජීවිතයට නව අරුතක් ගෙන දුන් තාරුකාවියේ
ඔබ නැත මට හිමි, ඒ බව දන්නෙමි
මේ සුන්දර රැය නිමා නොවේවා තාරුකාවියේ

හිරු නැති අහසේ, සඳු නැති දවසේ
මගේ මගේ පුංචි ලොව එළිය කළා සේ
පසන් එළිය දස අත පතුරා
සිසිල් පවන දස අත විහිදා
මේ මුළු ලෝකෙම සුවපත් කළ මැන තාරුකාවියේ

කවදාවත් යළි, මා තනිකර මෙහි
නොම සැඟවෙනු මැන අවරගිරේ තාරුකාවියේ

-රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com




Image by Anastasia Gepp from Pixabay

Thursday, April 14, 2005

සලිත වෙයි සිත
Salitha veyi sitha - Hemal Jayawickrama

හෙට වසන්තය උදාවේ

සලිත වෙයි සිත
කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත
නිති සරා සඳ
පරදවයි සොමි කැළුම් විහිදා

සිතා ඔබ ගැන බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා මන
දකින්නෙමි සුබ සිහිනයක්

පැතුම් ඉටුවෙන
හැඟුම් සැනසෙන
දිනක් නුදුරෙම උදා වේ
සිතුම් විලසින
පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ

පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
තනුව සහ ගායනය: හේමාල් ජයවික්‍රම



Image by Enrique Meseguer from Pixabay

සිසිල් සුළං පොද ඔබයි - Sisil sulan poda obayi
Hemal Jayawickrama and Samanalee Jayasuriya

නේද?

සිසිල් සුළං පොද ඔබයි ළඳේ
රුදුරු ගිම්හානයේ
සහන් සුවේ විඳගන්න
මදක් අවසර දෙන්න
මා නිසා ඔබෙ සිසිල අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?

ඔබ සුනිල් කෙම් බිම ය
වියළි කාන්තාරයේ
සුවෙන් ඔහේ සැතපී ඉන්න
මදක් අවසර දෙන්න
මා නිසා ඔබෙ සිසිල අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?

ඔබ නිමල් සඳ මඩල
පාළු ආකාශයේ
අඳුර හදේ දුරලන්න
මදක් අවසර දෙන්න
මා නිසා සිසි කිරණ අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?

එපා තවත් දුක් දෙන්න
මහද සන්තානයේ
එපා තවත් දුක් වෙන්න
ගැලී සන්තාපයේ
සෑමදා හිනැහෙමු මිහිරේ අපි
හා නේද, හා නේද, හා නේද?

පදමාලාව: රසික සූරියආරච්චි
තනු නිර්මාණය: හේමාල් ජයවික්‍රම
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය: හේමාල් ජයවික්‍රම සහ සමනලී ජයසූරිය


Image by ArtTower from Pixabay

Tuesday, April 12, 2005

දුර හන්තානේ
Dura Hanthane















සමුගැනීම

දුර හන්තානේ උස් කඳු මුදුනේ
පායා දිලෙනා පුංචි තාරුකා
කාටද පාර කියන්නේ?
මහවැලි ඉවුරේ මදනල අතරේ
මුසු වී ඇසෙනා මියුරු ගීතිකා
කා වෙනුවෙන්ද ගැයෙන්නේ?

සරසවි උයනේ මන්දිර සෙවණේ
ගත කළ සමයක සොඳුරු නිමේෂය
නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
පෙර සංසාරේ කළ පින් මදි දෝ
හදවත මඩිනා විරහ වේදනා
මේ ලෙස දෑස තෙමන්නේ?

මේ ගංගාවේ සුදු මල් පාවේ
මිය ගිය සෙනෙහස නටඹුන් අබියස
කණ කොක් සුදය දිලෙන්නේ
විහඟ ගීතයේ වැයෙන තාලයේ
ජීවිතයේ කොටසක් ලියවුණිදෝ
හෙට ඇයි හිරු පායන්නේ?

-රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com



This photo of Peradeniya is courtesy of Tripadvisor

ළඟා වෙන්න බැරි
Langa venna beri













කුමාරියේ

ළඟා වෙන්න බැරි ඈත ලෝකයේ සැඟවී සිටින කුමාරියේ
වලාකුළක නැගිලා
සුළං පොදක රැඳිලා
ළඟා වෙන්න බැරි ඈත ලෝකේ සැඟවී සිටින කුමාරියේ
ඔබේ ලොවේ දොරගුළු වහන්නෙපා
මගේ ලොවේ මා තනිකරන්නෙපා
සැඟවී සිටින කුමාරියේ

එදා ලෙසම අද ආදරෙයි
මගේ කුමාරිට ආදරෙයි
මගෙ මුළු හිතින් මගේ කුමාරිට ආදරෙයි

සැබෑ වෙන්නේ නැති සිහින ලෝකයේ හසරැල් නගනා කුමාරියේ
දසන් කැකුළු විහිදා
සුපෙම් හැඟුම් පුබුදා
සැබෑ වෙන්නේ නැති සිහින ලෝකයේ හසරැල් නගනා කුමාරියේ
හැමදාමත් සිහිනයක් වෙන්නෙපා
පියවි ලොවේ මා තනිකරන්නෙපා
හසරැල් නගනා කුමාරියේ

රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com



Image by Dessie_Designs from Pixabay

Monday, April 11, 2005

"පෙම් ගී" - රසික සූරියආරච්චි ගේය පද එකතුව
Rasika Suriyaarachchi's Lyrics Collection

කාලයක් තිස්සේ මා ලියූ කවි ඇසුරෙන් නිර්මාණය කරන ලද "ගේය පද" හෙවත් ගී පදමාලා ඉන්ටර්නෙට් මාධ්‍යයේ පළ කරන්නට මා මේ පෙම් ගී බ්ලොග් අඩවිය ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය.

ගී පදමාලා විසි පහක් පළ කිරීමෙන් පසු මෙයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට මම නොපෙළඹුණෙමි.

එදා සිට අද දක්වා කාලය ඇතුළත, මගේ මේ පෙම් ගී අඩවියේ පළ වූ ගේය පද මෙන්ම, මගේ එකතුවේ තිබුණු සහ අලුතෙන් ලියන ලද ගේය පද දුසිමක් පමණ සංගීතඥයින් විසින් තනු නිර්මාණය කර සංගිතය සැපයීමෙන් අනතුරුව ගායක ගායිකාවන් විසින් තම නිර්මාණ ලෙස සංයුක්ත තැටි හරහා එළි දක්වා ඇත.

පෙම් ගී අන්තර්ජාලයේ වපුරා වසර පහළොවකටත් වඩා ගෙවී ඇති මේ 2020 ඔක්තෝබරයේ දී, මේ බ්ලොග් අඩවියට නව මුහුණුවරක් ද ගෙන දී, මගේ වෙනත් ගේය පද නිර්මාණ ද එකතු කරන්නට සිත් විය.

මෙහි පළ වී ඇති, මේ වන විට කිසිදු ගායකයෙකු /ගායිකාවක /සංගීතඥයෙකු විසින් වෙන් කරගෙන නොමැති පදමාලවක් ඔබට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් කරුණාකර මට ඊ-මේලයක් එවන්න. rasika.suriyaarachchi@gmail

අලුතෙන් පළ කරන ලද ගී පදමාලා පිරික්සා බලා, ඒවා පිළිබඳව තම අදහස් දක්වමින් අඩුපාඩු පෙන්වා දුන් මා මිත්‍ර හේමාල් ජයවික්‍රමට මගේ ස්තුතිය පිරිනමමි.

කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු මෙන්ම, ගායකයෙකු ද වන ඔහු පිළිබඳ මා ලියූ සටහනක් මෙන්න. https://rasikalogy.blogspot.com/2019/02/i-am-yours-for-ever.html

ස්තුතියි

-රසික සූරියආරච්චි

The photo was captured in October 2004

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...