Thursday, December 31, 2020

ඔබ සිහිවෙන විට - Oba sihivena vita - ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

තනුව, සංගීතය සහ ගායනය: දොන් සිරිමාන්න

ඔබ සිහිවෙන විට හදට දැනෙන සුව
පහස පෙර දිනෙක විඳලා නෑ
ඔබ සිහිවෙන විට සිතට නැගෙන රස
හැඟුම් පෙර දිනෙක දැනිලා නෑ

ඒ සුව පහසින් මා මත්වීලා
හදවත තුළ පෙම් ගීයක් ලිව්වා
ඒ රස හැඟුමෙන් මන්මත්වීලා
සැඟවුණු සිතුවිලි ගීයට පෙව්වා

ආදර ගීතය ඔබට ගයන්නට
පෙරුම් පුරාගෙන බලා සිටිනවා
පිළිතුරු ගීයක් ඔබේ හදවතේ
රුඳී තිබේ යැයි සිතට දැනෙනවා

රසික සූරියආරච්චි, 2020


ගීයට සවන් දෙමු.


Image by Firmbee from Pixabay

Wednesday, December 30, 2020

ඔබේ සිනිඳු ගෙල - Obe sinindu gela

ඔබේ සිනිඳු ගෙල සරසාලන්නට
සදා තබන්නම් රුවන් මාලයක්
හිමිදිරි උදයේ පිනි කැට අමුණා
සදා තබන්නම් රුවන් මාලයක්

සමන්පිච්ච මල් දෙකක් කඩාලා
ඔබේ දෙකන් පෙති අග පළඳන්නම්
පුංචි රෝස මල් වැලක් ගොතාලා
සුමුදු වරල ඔබෙ සරසාලන්නම්

එපා සුවඳ දිය කුංකුම අංජන
ඔබෙ වත සුන්දර මලකි ළඳේ
ඔබ මුව සිප ගෙන මම සැනසෙන්නම්
උපන් හැඟුම් පුබුදාලා හදේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Tuesday, December 29, 2020

එන්න ළඳේ - Enna lande

එන්න ළඳේ මගේ හදට
සතුට සුවය තුරුළු කරන්
ඔබේ සතුටු සුසුමින් මා හදවත
වේදනා දුක් කඳුළු නිවන්නට

එන්න ළඳේ මගේ ලොවට
ඔබේ හදේ රන් පහන දල්වලා
ඔබේ හදවතින් එළිය ලබාගෙන
අඳුරු මගේ ලොව එළිය කරන්නට

එන්න ළඳේ මගේ සිතට
දහසක් සිතුවිලි පොදි කර බැඳලා
මගේ හදවතේ ඔබ ගැන ඉපදුණු
ආදරයේ පෙම් ගීය ලියන්නට

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by stuart hampton from Pixabay

Monday, December 28, 2020

මා සිත නිරතුරු - Ma sitha nirathuru
(Reserved for TS)

මා සිත නිරතුරු ඔබ ගැන සිතුවා
මා හද නිරතුරු ඔබ ගැන තැවුණා
මගේ සිතට හදවතට කවර දා
සැනසිල්ලක් ඇති වේවි ද මන්දා

දුකම ය මට හිමි සැප නැත කිසිදා
ඒ මා මේ ලොව ලබා උපන් හැටි
සැනසෙන්නෙම් මා හදවත රවටා
බඹා කෙටූ ලෙස පැරදුම මට හිමි

මහ වැසි කුණාටු අකුණු නිමා වී
අහස යළිදු පැහැබර වේ දෝ
පාළු අඳුර පිරි මගේ ලෝකයේ
රුවන් පහන් තරු පායයි දෝ

රසික සූරියආරච්චි, 2020


Image by Arijit Chakraborty from Pixabay

Sunday, December 27, 2020

පැරද පලා යන - Perada pala yana

පැරද පලා යන යුද සෙබළෙකි මා
ආදර සටනින් ජීවිත කතරේ
සුන්වූ අදිටන් හදවත ගැඹුරේ
සෙමෙන් සෙමෙන් ඉකි බිඳිනු ඇසේ

මුව ගොළු වී ඇත, සිත කැළඹී ඇත
නෙත් පියවේ මගෙ හදවත වැළපේ
පාළු අඳුරු ජීවිතයේ සුන්බුන්
වැතිරී ඇත නොනැගිටින ලෙසේ

මා සිත දුබලය ඒ බව දන්නෙමි
නැත මා දහසක් පැතුමන් දැරුවේ
පැතූ එකම පැතුම ද සුන් වූ දා
දුබල සිතින් ඉවසමි ද කෙසේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Greg Montani from Pixabay

Saturday, December 26, 2020

ඇගෙන් හිස් වූ - Egen his vu (Reserved for DS)

(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)

ඇගෙන් හිස් වූ මගේ හදවත
තිබෙන පාළුව මකා ගන්නයි
ඔබේ සෙනෙහස ලබා ගන්නට
මා වෙහෙස වූයේ

ළඳක සෙනෙහස කිසිදු දිනයක
බලෙන් ලබනට බැරිය දන්නෙමි
ඔබේ හදවත උණුවෙනා තුරු
දුකෙන් ඉවසන්නම්

ඔබේ අත මට අහිමි වුනොතින්
මගේ සිත ගල් වී ගියාදෙන්
පාළු ජීවන කතරේ තනි වී
දිනෙක මිය යන්නම්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by PublicDomainPictures from Pixabay

Friday, December 25, 2020

ඔබ නොවේ සඳු - Oba nove sandu

ඔබ නොවේ සඳු
ඔබ නොවේ හිරු
ඔබ නොවේ අහසේ දිලෙන තරු
ඔබ නොවේ හිත සඳුන් තිලකය
නොවේ වෙණ මත මියුරු සත්සර
ඔබ නොවේ මගෙ සිත දිනාගත්
මගේ හදගත් සොඳුරු කුමරිය

ඔබ නොවේ මගෙ හදේ ලියවුණු
ආදරේ මුල් ගීය ගැයුවේ
ඔබ නොවේ මට සතුට ගෙනැවිත්
සිතට සහනය නිබද දුන්නේ

සඳේ සිසිලස ඔබෙන් නොලැබුණි
සිතට සහනය ඔබෙන් නොලදිමි

ඔබ නොවේ මගෙ සිතේ සුපිපුණු
ආදරයෙ මල නෙලා ගත් ළඳ
එහෙත් මා සිත ඊර්ෂ්‍යාවෙන්
පිරී යයි ඔබ රුව දකින සඳ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Kranich17 from Pixabay

Thursday, December 24, 2020

නිදා සිටි කොවුල් හඬ - Nida siti kovul handa

නිදා සිටි කොවුල් හඬ දස දෙසින් යළි ඇසේ
කහ රෝස ගස පුරා මල් පිපී නැළවෙතේ
සීත සුළඟක් හමයි විඩාව ද දුරුවෙතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

සිසිරයේ සීතලේ නිදා සිටි හදවතේ
නැවුම් පැතුමක සිසිල ඉතිරිලා පැතිරෙතේ
සතුට සොම්නස මිහිර බැලු බැලූ හැම අතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

ඇගේ රුව යළිත් මා දකින දින ළංවෙතේ
සිතේ එක් කෙළවරක පෙම් කවක් පබැඳෙතේ
නොදැනීම තනු බැඳී ගීතයක් ඉපදෙතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Wednesday, December 23, 2020

මගේ හදවත සැලෙන රාවය - Mage hadawatha selena ravaya

මගේ හදවත සැලෙන රාවය
ඔබට නොඇසේ මම දනිමි එය
මගේ හදවත ගයන දුක් ගී ඔබට නොඇසේ මම දනිමි එය
මගේ සිත තුළ සුපිපිලා ඇති
ආදරයේ මල් සුවඳ විහිදයි
නමුදු එසුවඳ ඔබේ නැහැයට නොඑයි
එසුවඳ ඔබට නොදැනෙයි

වෙනත් කෙනෙකුගෙ දුකක් නොඇසෙන
ලෙසින් ඔබ කන බිහිරි වී ඇත
කිසිම විටකදි උණු නොවන ලෙස
ඔබේ සිත අද ගල්වෙලා ඇත

ඔබ වෙතට යොමු වෙන දෙනෙත් වෙත
මන්ද රත් යවුලක් ම වන්නේ
සෑමදාමත් මෙසේ ඔබ ලොව
තනිවෙලා ඉන්න ද සිතන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Mandyme27 from Pixabay

Tuesday, December 22, 2020

අරුණැල්ලේ - Arunelle

අරුණැල්ලේ, අරුණැල්ලේ
ලා හිරු රැස් කැරලි කැරලි
මල් ගොමුවට දිව එනවා
හිරු එළියෙන් ඒ හැම මල් සුවඳ හමා පිබිදෙනවා
අරුණැල්ලේ, අරුණැල්ලේ

රන් අරුණලු විසිරුවමින් අලුයම හිරු පායන විට
කන්ද උඩින් හෙමින් සැරේ හිරු එබිකම් කරනා විට
ලා හිරු රැස් දුවගෙන විත් මල් ගොමුවට වැටෙනා විට
සුවඳ විදා සතර අතේ ඒ හැම මල් පිබිදෙනවා

ඔබෙ හද තුළ දැල්වී ඇති ආදරයේ රන් පහනේ
රන්වන් ආදරේ කිරණ විසිරී පැතිරී යන විට
හිරු එළියේ මානෙල් මෙන් මගෙ හදවත නැමැති පියුම
පිබිදෙනවා, පිබිදෙනවා ආදරයෙන් මත් වෙනවා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

Monday, December 21, 2020

අහිමි ඇය - Ahimi eya

අහිමි ඇය දෙසටයි
සොඳුරු ඔබ දෙසටයි
වැනෙනවා සිත වැනෙනවා
කුමක් කරමි ද සිතා ගන්නට බෑ
වැනෙනවා සිත වැනෙනවා

දනිමි මම මිහිරියේ ඔබ මට
සෙනේහය ඇති බවත්
නමුත් මා හද තවම සසලයි සිතා ගන්නට බෑ
කළ යුතුද මා කුමක්

මගේ සිත තව නැතේ නිදහස්
මට අහිමි වූ ඇගෙන්
ආදරේ රුදු පාළු කතරේ අතරමං කර මා
දුරස් වී ගිය ඇගෙන්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Goran Horvat from Pixabay

Sunday, December 20, 2020

මගේ යහළුවන් (යුග ගීයකි) - Mage yahaluvan

පි:    මගේ යහළුවන්
ඔබේ යෙහෙළියන්
ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා

ගැ:   ඔබේ යහළුවන්
මගේ යෙහෙළියන්
ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා

ගැ:   අපි දෙන්නම ඒ කාලේ
පුංචි ළමයි ලා බාලේ
ඔබයි මමයි ලැජ්ජාවෙන් නිහඬව සිටියා

පි:   අපි දැන් හොඳ තරුණ වියේ
නව යෞවන තරුණ වියේ
අප දෙදෙනා ප්‍රේමය ගැන හොඳින් දන්නවා

ගැ:   යළිත් වරක් අප මිතුරන්
ඔබෙයි මගෙයි නම් එක්කර
කවට කමක් කරනා තුරු බලා ඉන්නෙපා

පි:   යළිත් වරක් අප මිතුරන්
ඔබෙයි මගෙයි නම් එක්කර
කවට කමක් කරනා තුරු බලා ඉන්නෙ නෑ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

Saturday, December 19, 2020

රංජනා, සංජනා - Ranjana Sanjana

රංජනා, සංජනා
මගේ ප්‍රිය අංගනා
සොදුරුතම, මිහිරිතම
ඔබයි ප්‍රියදර්ශනා

කාලයක සිට මගේ සිත පුරා හද පුරා
ඔබේ සුන්දර දසුන, ඔබේ රුව ඇත ඇඳී
හදවතේ සතර කොන මිහිරියේ ඔබ නිසා
මෙයින් පෙර මා නො ලද මිහිරි සුව ඇත රැඳී

මෙතෙක් කල් දුටු සිහින සැබෑවෙන පෙර නිමිති
මගේ සිත සනසමින් මගෙ නෙතට දිස්වුණා
සඳ මඩල වලාවෙන් විතැන් වූ විලාසෙන්
මා දෙසට නෙත් යොමා ඔබ මදක් හිනැහුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Jill Wellington from Pixabay

Friday, December 18, 2020

ඔබේ යෙහෙළියන් අතරේ - Obe yeheliyan athare

ඔබේ යෙහෙළියන් අතරේ
ඔබෙයි මගෙයි නම් එක්කර
පැවසූ වදනක් ගානේ
අද මට ඇසුණා

මිතුරියන්ගෙ කවට සිනා
ඔබ වටකර රැව් නැගෙද්දි
ලැජ්ජාවෙන් ඔබේ මුහුණ
රතු වෙනු පෙනුණා

මා ඉන්නා දෙස බලලා
ඔබ හෙමිහිට හිනැහෙද්දී
ඔබෙයි මගෙයි නෙත් හී සර
එකිනෙක ගැටුණා

වෙන දා මා නොතකන ඔබ
ඔබෙ නිල්මිණි නෙත් සඟළින්
පැවසූ ඒ සොඳුරු ගීය
අද මට හැඟුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by melancholiaphotography from Pixabay

Thursday, December 17, 2020

කාලයයි මේ කාලයයි - Kalayayi me (reserved for TR and SR)

ගැ:   කාලයයි මේ කාලයයි
වසන්තය මැද මල් පිපෙන හොඳ කාලයයි
පි:   කාලයයි මේ කාලයයි
කුරුළු කුජන දසත පැතිරෙන කාලයයි
දෙ:   සුපෙම් හැඟුමෙන් සිතුම් පිබිදෙන කාලයයි

ගැ:   ඔබ නමින් මා සිතේ පබැඳුණු
සොඳුරු ආදර ගීය රහසේ
පි:   ඔබ වෙතට ළං වෙලා
ඔබෙ කනට කොඳුරලා
දෙ:   ගයන්නට මේ කාලයයි
ඔබේ ප්‍රේමය අයැදින්න මේ කාලයයි

පි:   මා නමින් ඔබ සිතේ කිසියම්
සෙනෙහසක් සිසිලක් තියේ නම්
ගැ:   මා වෙතට ළං වෙලා
මගෙ කනට කොඳුරලා
දෙ:   කියන්නට මේ කාලයයි
යෞවනේ පෙම් සුව විඳින්නට කාලයයි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

Wednesday, December 16, 2020

මල් වසන්තය නිමවුණා - Mal vasanthaya nimavuna

මල් වසන්තය නිමවුණා
ඇය මගෙන් සමුගෙන ගියා
මගේ හදවත ගොළුවුණා
සදාකාලික සිසිරයක මා පාළුවේ
තනිවුණා

එදායින් පසු මුල් වතාවට මගේ සිත ඇත සසල වී
ඔබේ නෙත් සර වැදී හදවත යළිත් ඇත අද අවදි වී
එහෙත් සැකයක් සිතේ කොනකින් නැගී එනවා මෝදු වී

නෙතට නෙත, සිත සිතට යාවී සෙනෙහසක් දළු දමා දෝ
සවිය නොමැතිව බැඳෙන පෙම් බැමි ඉදිරි දිනකදි කැඩේ දෝ
දුබල හදවත දමන අළු කර විරහ ගිනි යළි නැගේ දෝ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Evgeni Tcherkasski from Pixabay

Tuesday, December 15, 2020

මේ වසන්තය නම් නොවේම ය - Me vasanthaya nam novema ya

මේ වසන්තය නම් නොවේම ය

සියොත් කැල අද නිදිබරයි
නැතේ කන්කලු කූජනේ
තුරු ලතා ඇත වියලිලා
නැතේ සිසිලක් කිසි අතේ

ඇය ගියා මා අතරමංකර වාලුකාවේ හැරදමා
රුදුරු හිරු මිස සොඳුරු සඳු නැත කතර මැද මා තනිවෙලා

මා දුකින් නොව තුටින් සිටිනා බව ඇයට මම පෙන්වමී
කොවුල් හඬ, මල් වැස්ස, සිසිලස වසන්තය යළි ගෙන්වමී

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by _Marion from Pixabay

Monday, December 14, 2020

දෑසින් නිදිමත - Desin nidimatha

දෑසින් නිදිමත බේරෙනවා
ඇස් දෙක හෙමිහිට පිය වෙනවා
නැත දැන් ඔබ ගැන සිහි වෙන්නේ
නිදි දෙව්දුව මා වෙත එනවා

මා ඔබහට පෙම් කළ පෙර දිනයේ
බැලු බැලු හැම අත ඔබමයි පෙනුණේ
සිහින ලොවේදිත් ඔබෙ රුව පමණයි
මා සිත නළවා සැනසූයේ

ඔබ ගැන සිතමින් ඉන්නා විට දී
මටත් හොරෙන් කාලය ගතවූයේ
දැන් ඒ කිසි කරදරයක් මට නැත
ඔබ ගැන නොමැතිය සිහිවන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Hans Braxmeier from Pixabay

Sunday, December 13, 2020

ඇය සමඟින් මා - Eya samagin ma

ඇය සමඟින් මා ගෙවූ අතීතය
මට සිහිවේ අද ඔබ දකිනා විට
ඇය වෙනුවෙන් මා හෙළූ දුක් සුසුම්
මට සිහිවේ අද ඔබ දකිනා විට

සුරූපියෙකි ඔබ දෙනුවන් බඳනා
දහසක් මල් ඔබ සමග සිනාසේ
එනමුදු කුමරිය මගෙ හදවත දැන්
වැසී ගොසින් ඇත යළි නොඇරෙන සේ

ප්‍රේම තරගයෙන් පැරදුණු දින සිට
මගෙ සිත ඇත ඉරි තැලී ගොසින්
හද මන්දිරය ද පාළුයි අඳුරුයි
දැල්වුණු පහණ ද නිවී ගොසින්

ඇගේ වියෝවෙන් මගේ හදවතේ
නැගෙන දුක් සුසුම් ඔබට ඇසෙනවද?
ඇයගෙන් හිස් වුණු මගේ හදවතේ
නවාතැන් ගන්න ඔබට හැකි වෙයිද?

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pezibear from Pixabay

Saturday, December 12, 2020

මෙතෙක් කල් ඔබ - Methek kal oba

මෙතෙක් කල් ඔබ මා දිහා
රවා බැලුවා විනා
ඔබෙ සිනාවක් කිසි දිනේ
දුටුව බව මතකේ නැතේ

අද උදේ නොම සිතු ලෙසින් පෙර අපේ නෙත් සර හමුවුණා
ඒ වෙලේ ඔබ මුව මතින් මුදු සිනා කැකුළක් පීදුණා
සිත වශී කළ කිරි පබලුවන් ඔබෙ දසන් පෙළ දිස්වුණා
පෙර නොවිඳි හැඟුමින් පිරීගොස් මගේ සිත ගත ගල්වුණා

හෙට දිනේදිත් මගේ දෙනෙතට සොඳුරු ඔබෙ රුව පෙනේ දෝ
අද දුටුව ඒ මියුරු කෝමල සිනා මල් වැසි වසී දෝ
අඳුරු මා ලොව එළිය කරවන සුමුදු සඳ ඔබ නොවේ දෝ
දිනක ඔබ සිසිලස විඳින්නට වරම මා වෙත ලැබේ දෝ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Mariana Anatoneag from Pixabay

Friday, December 11, 2020

ඔබ සමඟින් මා - Oba samagin ma (Reserved for U.M.)

ඔබ සමඟින් මා ගෙවූ අතීතය
එදා වගේ අද තාමත් මතකයි
ආදරයෙන් අප කල් යැවූ කාලය
එදා වගේ අද තාමත් මතකයි

නෙතින් නෙතට කිව් ගීතය ඔස්සේ
ඔබ හා මා මුල්වරට හමුවෙලා
සිතින් සිතට එක් විලස බැඳුණු හැටි
එදා වගේ අද තාමත් මතකයි

ආදර ලෝකේ අප තනිවීලා
ගතකළ ඒ එක් සොඳුරු නිමේෂෙක
ඔබේ ලවන් මා ලවන් තෙමූ හැටි
එදා වගේ අද තාමත් මතකයි

කඳුළු කුණාටුව හැමූ අවදියේ
මළ හිරු අහසේ සැඟවුණු මොහොතක
ඔබ හා මා සදහට සමුගත් හැටි
එදා වගේ අද තාමත් මතකයි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

Thursday, December 10, 2020

ලියන්නෙ නෑ මා - Liyanne ne ma

ලියන්නෙ නෑ මා ආයෙත්
විරහ ගී ඔබ ගැන කිසිදා
හඬන්නෙ නෑ මා ආයෙත්
තනි වී ඉන්නම් සැමදා

ඔබ ගැන මගෙ හද තුළ බැඳි ගීතය
සදහටම ගොළු වෙලා
තවත් කිසි දිනෙක නෑසෙන අයුරින්
හද පතුලේ හිර වෙලා

මතු යම් දිනයක දැනුනොත් ඔබ හට
තනිකමක් සිතේ
මා ගැන නොසිතනු මැනවි ළඳේ
ඉන් පලක් නැතේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by S. Hermann & F. Richter from Pixabay

Wednesday, December 09, 2020

මෙතෙක් මම ඔබ ගැන - Methek mama oba gena

මෙතෙක් මම ඔබ ගැන
සිහින මැව්වෙමි අපමණ
නමුත් දැන් ඒ සිහින සැමෙකක්ම බොඳවෙලා

ඔබෙ රුවේ සුව දසුන සිතට සතුටක් වුණා
ඔබෙ සොඳුරු රූ සිරිය නිසා කවියෙකු වුණා
ඒත් ඒ සියලු කවි නීරසයි දැන් නම්

මගෙ මනෝ මාළිගා ඇයි මෙලෙස සුන්වුණේ
ඇයි ද මා සිතෙන් ඔබ එක්වරම වෙන් වුණේ
ජීවිතේ සියලු දේ දුක්බරයි දැන් නම්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Eak K. from Pixabay

Tuesday, December 08, 2020

පෙරුම් පුරාගෙන - Perum puragena - තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

පෙරුම් පුරාගෙන බලා සිටිමි මම
ඔබට කියන්නට ඒ රස ගීතය
මා හද පතුලේ පබැඳුණු ගීතය
ඔබට කියන්නට ආදර ගීතය

අපටම වෙන්වුණු අපේම ලෝකෙක
හමු වී තනි වී සිටින වෙලාවක
ඔබේ සවන් වෙත හෙමිහිට කොඳුරා
ඔබට කියන්නට ආදර ගීතය

මෙතුවක් කල් මගෙ සිත තුළ සිරවී
තිබුණා එය නොගැයෙන ලෙස ගොළු වී
ඉවසා සිටියා දැන් හොඳටම ඇති
ඔබට කියන්නෙමි ආදර ගීතය

රසික සූරියආරච්චි, 2020


ගීතයට සවන් දෙමු:



Image by chiplanay from Pixabay

Monday, December 07, 2020

එදා, මට මතකයි - Eda mata mathakayi

එදා, මට මතකයි
මා ඔබ දෙස ආදරයෙන් බැලුවා
එදා, මට මතකයි
මා නොතකා ඔබ වහා ඉවත බැලුවා

මා නැවතත් ඔබ දෙස බැලුවා
ආදරය පිරුණු දෑසින්
මා නැවතත් ඔබ දෙස බැලුවා
ඔබ නුරුස්සනා බැල්මක් හෙලුවා
කෝපය මුසු වූ දෑසින්
ඔබ නුරුස්සනා බැල්මක් හෙලුවා

මා දැක අද ඔබ සිනාසුණා
සමාව ඉල්ලන අයුරින්
මා දැක අද ඔබ සිනාසුණා
ඔබ සමගින් මා තරහක් නෑ
එනමුදු මා කිසි ලෙසකින්
සිනා වෙන්නේ නෑ ඔබ හා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Gerd Altmann from Pixabay

Sunday, December 06, 2020

සීත සුළඟක් - Seethe sulangak

සීත සුළඟක් වෙලා උදයක ඈත කඳු අතරින්
තුනී මීදුම් සළු ඉරාගෙන ඔබ වෙතට එන්නම්
ඔබෙ මුහුණ සිප ගන්නම්

පාට පාටින් සුපිපිලා ඇති නොයෙක් මල් අතරින්
සුවඳ උකහා ඔබේ නැහැයට මිහිර ගෙන එන්නම්
ඔබෙ මුහුණ සිප ගන්නම්

එකට එක් වී තුඩට තුඩ දී රහසෙ ගී ගයමින්
දුවන පනිනා කුරුල්ලන් ගැන ඔබට පවසන්නම්
ඔබෙ මුහුණ සිප ගන්නම්

පිපාසාවෙන් වේලිලා ගිය ජීවිතය මාගේ
ආදරේ දියරෙන් තෙමන්නැයි ඔබෙන් ඉල්ලන්නම්
ඔබෙ මුහුණ සිප ගන්නම්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Gerhard G. from Pixabay

Saturday, December 05, 2020

සෙව්වෙමි මා ඔබ
Sevvemi ma oba

සෙව්වෙමි මා ඔබ එදා පටන් මේ
නිමක් කොනක් නැති සංසාරේ
හමුවිය මට ඔබ මේ භවයෙදි අද
මා සිතු ලෙස, මා පැතු ලෙසිනේ

අසරණයෙකි මා, නැත මට කවුරුත්
මෙතෙක් ලොවේ සෙනෙහස පාලා
මුදු හසරැල්ලක් මවෙත හෙලනු මැන
මා සිත සැනසුම් සුව සදලා

අසරණ භාවයේ ගණඳුර බිඳලා
පහන දල්වලා ආදරෙයේ
පාළු අඳුරු මගෙ හද මන්දිරයට
දෙනු මැන මිහිරියෙ ආලෝකේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Alexas_Fotos from Pixabay

Friday, December 04, 2020

මගේ සිතට සැනසීමක් -Mage sithata senaseemak

මගේ සිතට සැනසීමක් ඇත ඔබ සිහියට එනවා
කුමාරියේ ඔබෙ ලස්සන නෙත් දෙක මට සිහිවෙනවා

අඳුරුව තිබු මගෙ ලෝකෙට ආලෝකය දුන් ඔබ නෙත්
සහන් එළිය මා හද වෙත ළඟා කරපු පින්බර නෙත්

රෑ යාමේ අහස් තලේ නිල් තරු යුවලක් වැන්නේ
අනෝතත්ත විලේ පිපුණු නිලුපුල් කැකුළක් වැන්නේ

කුමරිය ඔබෙ නෙත් සඟළින් මගේ හදවත පණ ලැබුවා
මෙතෙක් නොලද මිහිරි හැඟුම්වලින් මගේ සිත පිරුණා

ඔබෙ දෙනෙතේ මද කැල්මෙන් සෑමදාම නැහැවෙන්නම්
ජීවිතයේ සැමදාට ම ඔබව අයිතිකර ගන්නම්

රසික සූරියආරච්චි, 2020


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Thursday, December 03, 2020

තණපත් අග - Thana path aga

තණපත් අග හිමිදිරියේ
තුෂාරයක් වෙන්න එපා
සුදු මල් ඇති රෝස ගසක
විස කටුවක් වෙන්න එපා
අහසෙ ඈත කොණකට වුණු
තනි තරුවක් වෙන්න එපා
කුමාරියේ කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

අනන්තයට විහිදී ඇති
මහ සයුරක් වෙන්න එපා
මඩින් පිරුණු විලක පිපිණු
නෙළුම් මලක් වෙන්න එපා
බෙල්ලෙකු ගේ කටු අතරේ
මුතු කැටයක් වෙන්න එපා
කුමාරියේ කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

යොවුන් සිතක නැවුම් හැඟුම්
නොතකන සේ ඉන්න එපා
ඔබ වෙත යොමුවෙන දෙනෙතට
රත් යවුලක් වෙන්න එපා
ඔබ වෙනුවෙන් ගැයෙනා ගී
වලකන්නට හදනු එපා
කුමාරියේ කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

රසික සූරියආරච්චි, 2020


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Wednesday, December 02, 2020

බලාපොරොත්තුවෙ රුවල් බෝට්ටුව
Balaporoththuwe ruval bottuwa (Reserved for U.M.)

බලාපොරොත්තුවෙ රුවල් බෝට්ටුව
ජීවන සයුරේ පාවී යද්දෙන්
ඔබේ ආදරේ සුළං පහර වැද
ඈත අනන්තෙට පාවී යද්දෙන්

මා ඔබ ගැන මගෙ මනෝ ලෝකයේ
තැනූ සිහින සැම ඉටුකරගන්නම්
මෙතුවක් කල් මා හද තුළ සිරවුණු
සොඳුරු ආදරේ ගීය ගයන්නම්

ආදරයේ රන් තාරුකා පෙළින්
විහිදෙන විසිතුරු අරුණලු මැද්දෙන්
ඔබේ ලෝකයේ කිරුළ දරාගෙන
සදාකාලිකව ගිමන් හරින්නම්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Youssef Jheir from Pixabay

Tuesday, December 01, 2020

මතකයි මට - Mathakayi mata - තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

(තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න)

මතකයි මට තව ඉස්සර දවසක
මහවැලි ඉවුරේ අපි දෙන්නා
ආසිරි මල් සිරිපොද වැසි මැද්දේ
අත්වැල් බැඳගෙන පය නැගුවා

හන්තානේ සෙවනැලි සිපගෙන ආ
සීතල මදනල හමන වෙලේ
මතකයි තුරුලුව උණුසුම් වූ හැටි
මැයි ගස් සෙවනේ හවස් කලේ

දුරු රට සීතල හිම කැටි අතරේ
ගත උණුසුම අද ඇතිය සිඳී
සොඳුරු මතකයේ පාළුව විතරයි
හදවත උණුසුම නැතිය රැඳී

රසික සූරියආරච්චි, 2020



(image: PeraBeats LIFE)

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...