Friday, January 01, 2021

මතකද ඉස්සර දිනවල - Mathakada issara dinawala (Reserved for DS)

(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)

මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා

එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්

ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්

රසික සූරියආරච්චි, 2020


(image: PeraBeats Life)

Thursday, December 31, 2020

ඔබ සිහිවෙන විට - Oba sihivena vita - ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

තනුව, සංගීතය සහ ගායනය: දොන් සිරිමාන්න

ඔබ සිහිවෙන විට හදට දැනෙන සුව
පහස පෙර දිනෙක විඳලා නෑ
ඔබ සිහිවෙන විට සිතට නැගෙන රස
හැඟුම් පෙර දිනෙක දැනිලා නෑ

ඒ සුව පහසින් මා මත්වීලා
හදවත තුළ පෙම් ගීයක් ලිව්වා
ඒ රස හැඟුමෙන් මන්මත්වීලා
සැඟවුණු සිතුවිලි ගීයට පෙව්වා

ආදර ගීතය ඔබට ගයන්නට
පෙරුම් පුරාගෙන බලා සිටිනවා
පිළිතුරු ගීයක් ඔබේ හදවතේ
රුඳී තිබේ යැයි සිතට දැනෙනවා

රසික සූරියආරච්චි, 2020


ගීයට සවන් දෙමු.


Image by Firmbee from Pixabay

Wednesday, December 30, 2020

ඔබේ සිනිඳු ගෙල - Obe sinindu gela

ඔබේ සිනිඳු ගෙල සරසාලන්නට
සදා තබන්නම් රුවන් මාලයක්
හිමිදිරි උදයේ පිනි කැට අමුණා
සදා තබන්නම් රුවන් මාලයක්

සමන්පිච්ච මල් දෙකක් කඩාලා
ඔබේ දෙකන් පෙති අග පළඳන්නම්
පුංචි රෝස මල් වැලක් ගොතාලා
සුමුදු වරල ඔබෙ සරසාලන්නම්

එපා සුවඳ දිය කුංකුම අංජන
ඔබෙ වත සුන්දර මලකි ළඳේ
ඔබ මුව සිප ගෙන මම සැනසෙන්නම්
උපන් හැඟුම් පුබුදාලා හදේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Tuesday, December 29, 2020

එන්න ළඳේ - Enna lande

එන්න ළඳේ මගේ හදට
සතුට සුවය තුරුළු කරන්
ඔබේ සතුටු සුසුමින් මා හදවත
වේදනා දුක් කඳුළු නිවන්නට

එන්න ළඳේ මගේ ලොවට
ඔබේ හදේ රන් පහන දල්වලා
ඔබේ හදවතින් එළිය ලබාගෙන
අඳුරු මගේ ලොව එළිය කරන්නට

එන්න ළඳේ මගේ සිතට
දහසක් සිතුවිලි පොදි කර බැඳලා
මගේ හදවතේ ඔබ ගැන ඉපදුණු
ආදරයේ පෙම් ගීය ලියන්නට

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by stuart hampton from Pixabay

Monday, December 28, 2020

මා සිත නිරතුරු - Ma sitha nirathuru
(Reserved for TS)

මා සිත නිරතුරු ඔබ ගැන සිතුවා
මා හද නිරතුරු ඔබ ගැන තැවුණා
මගේ සිතට හදවතට කවර දා
සැනසිල්ලක් ඇති වේවි ද මන්දා

දුකම ය මට හිමි සැප නැත කිසිදා
ඒ මා මේ ලොව ලබා උපන් හැටි
සැනසෙන්නෙම් මා හදවත රවටා
බඹා කෙටූ ලෙස පැරදුම මට හිමි

මහ වැසි කුණාටු අකුණු නිමා වී
අහස යළිදු පැහැබර වේ දෝ
පාළු අඳුර පිරි මගේ ලෝකයේ
රුවන් පහන් තරු පායයි දෝ

රසික සූරියආරච්චි, 2020


Image by Arijit Chakraborty from Pixabay

Sunday, December 27, 2020

පැරද පලා යන - Perada pala yana

පැරද පලා යන යුද සෙබළෙකි මා
ආදර සටනින් ජීවිත කතරේ
සුන්වූ අදිටන් හදවත ගැඹුරේ
සෙමෙන් සෙමෙන් ඉකි බිඳිනු ඇසේ

මුව ගොළු වී ඇත, සිත කැළඹී ඇත
නෙත් පියවේ මගෙ හදවත වැළපේ
පාළු අඳුරු ජීවිතයේ සුන්බුන්
වැතිරී ඇත නොනැගිටින ලෙසේ

මා සිත දුබලය ඒ බව දන්නෙමි
නැත මා දහසක් පැතුමන් දැරුවේ
පැතූ එකම පැතුම ද සුන් වූ දා
දුබල සිතින් ඉවසමි ද කෙසේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Greg Montani from Pixabay

Saturday, December 26, 2020

ඇගෙන් හිස් වූ - Egen his vu (Reserved for DS)

(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)

ඇගෙන් හිස් වූ මගේ හදවත
තිබෙන පාළුව මකා ගන්නයි
ඔබේ සෙනෙහස ලබා ගන්නට
මා වෙහෙස වූයේ

ළඳක සෙනෙහස කිසිදු දිනයක
බලෙන් ලබනට බැරිය දන්නෙමි
ඔබේ හදවත උණුවෙනා තුරු
දුකෙන් ඉවසන්නම්

ඔබේ අත මට අහිමි වුනොතින්
මගේ සිත ගල් වී ගියාදෙන්
පාළු ජීවන කතරේ තනි වී
දිනෙක මිය යන්නම්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by PublicDomainPictures from Pixabay

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...